කොළඹ, 2026 මාර්තු 03: දකුණු ආසියානු ග්‍රීන්පීස් (Greenpeace South Asia) ආයතනය විසින් තම නවතම වාර්තාව වන “දිට්වා සුළි කුණාටුවේ හානි හා අලාභයන්: දේශගුණික වගවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්” (Issue Brief 4.0) ප්‍රකාශයට පත් කර ඇත. මෙම වාර්තාව මගින් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය විස්තර කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ප්‍රජාවන් වෙනුවෙන් දේශගුණික වගවීම, ‘හානි හා අලාභ’ (Loss and Damage) මූල්‍යකරණය සහ යුක්තිය ඉටු කිරීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරයි.

දිට්වා සුළි කුණාටුව පිළිබඳ නිල තක්සේරුවලදී විනාශ වූ නිවාස, හානි වූ මාර්ග සහ ආර්ථික අලාභයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණද, මෙම වාර්තාව මගින් මෙතෙක් හඳුනා නොගත් ගැඹුරු අර්බුදයක් වන “ආර්ථිකමය නොවන හානි හා අලාභයන්” (Non-economic Loss and Damage) හෙළිදරව් කරයි. නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රදේශ කිහිපයකම, මියගිය පුද්ගලයන්ගේ දේහයන් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් අවසන් කටයුතු සිදු කිරීමට පවුල්වලට ඇති අයිතිය අහිමි වී ඔවුන් දැඩි මානසික පීඩාවකට පත්ව ඇත. මෙම නොවිසඳුණු ශෝකය සාම්ප්‍රදායික ආපදා ගණනය කිරීම් පද්ධතිවලට හසු නොවන ගැඹුරු සංස්කෘතික සහ චිත්තවේගීය අලාභයකි.

මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වූ දේශගුණික විපර්යාසයන් දිට්වා සුළි කුණාටුවේ බලපෑම සැලකිය යුතු ලෙස තීව්‍ර කළ බව විද්‍යාත්මක සාක්ෂි සනාථ කරයි. ‘World Weather Attribution’ ආයතනයේ මෑතකාලීන විශ්ලේෂණයකට අනුව, ගෝලීය උණුසුම ඉහළ යාමක් සිදු නොවූයේ නම් පවතින තත්ත්වයට වඩා මෙම දින පහේ වර්ෂාපතනයේ තීව්‍රතාවය 28% සිට 160% දක්වා අඩු මට්ටමක පවතිනු ඇත.

මහාමාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ පොදු පහසුකම් ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානි සහන සේවා සහ ප්‍රතිසාධන කටයුතු ප්‍රමාද වීමට හේතු විය. නිවාස 114,000 කට අධික ප්‍රමාණයකට අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානි සිදු වූ අතර ඉන් නිවාස 6,000 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. කෘෂිකර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට එල්ල වූ බලපෑම ආහාර සුරක්ෂිතතාවයට සහ ග්‍රාමීය ආදායම් මාර්ගවලට දැඩි තර්ජනයක් විය. ලෝක බැංකු සමූහය ඇස්තමේන්තු කරන පරිදි සිදු වූ මුළු ආර්ථික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 කි.

කෙසේ වෙතත්, පියවි ඇසට පෙනෙන විනාශයෙන් ඔබ්බට ගිය, මනෝවිද්‍යාත්මක කැලඹීම, අධ්‍යාපනය අඩාල වීම, සංස්කෘතික හා පාරම්පරික ඉඩම් අහිමි වීම, සමාජ සහජීවනය බිඳ වැටීම සහ පරිසර පද්ධතිවලට සිදු වූ හානිය වැනි ආර්ථිකමය නොවන හානි හා අලාභයන් ද මෙම වාර්තාවේ ලේඛනගත කර ඇත. කොත්මලේ, වලපනේ සහ රගල වැනි ප්‍රදේශවල ගම්මාන නායයෑම් හේතුවෙන් තත්පර කිහිපයකින් අතුරුදහන් විය. සංස්කෘතික වශයෙන් වැදගත් සහ පුරාවිද්‍යාත්මක ස්ථානවලට සිදු වූ හානිය මෙම ආපසු හැරවිය නොහැකි අලාභය තවදුරටත් තීව්‍ර කරන අතර, එය හුදෙක් භෞතික විනාශයක් නොව සාමූහික උරුමය සහ ඓතිහාසික මතකයන් අහිමි වීමකි.

දරුවන් මෙයින් විශේෂයෙන් පීඩාවට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට (UNICEF) අනුව, දීර්ඝකාලීන අධ්‍යාපන බාධා, මානසික කම්පනය සහ ඉහළ සෞඛ්‍ය අවදානම් මධ්‍යයේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට හදිසි ආධාර අවශ්‍ය වී තිබේ. අවතැන් වූ බොහෝ පවුල් තවමත් තාවකාලිකව පදිංචිව සිටින අතර, ඔවුන්ට ලැබෙන තාවකාලික කුලී සහනාධාර ඔවුන්ගේ දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවේ.

අවතැන් කඳවුරුවල සහ තාවකාලික නවාතැන්වල වෙසෙන කාන්තාවන්, අධික තදබදය, අවිනිශ්චිතභාවය සහ පෞද්ගලිකත්වය අහිමි වීම වැනි දුෂ්කර තත්ත්වයන් යටතේ රැකවරණය සැපයීමේ වගකීම අසමානුපාතික ලෙස දරති. මානව සුභසාධනයට වඩා යටිතල පහසුකම් කෙරෙහි ප්‍රමුඛත්වය දෙන ප්‍රතිසාධන මිනුම් දඬු හමුවේ, මෙම චිත්තවේගීය, සමාජීය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ බරපතල පීඩාවන් නොපෙනී යයි.

“දිට්වා සුළි කුණාටුව යනු හුදකලා සිදුවීමක් නොවේ , එය දේශගුණික අසාධාරණය පිළිබඳ සලකුණකි. ගෝලීය කාබන් විමෝචනය, ණය බරින් පිරි සංවර්ධනය සහ දේශීය පාලන පද්ධතිවල අසාර්ථකත්වය යන කරුණු එකිනෙක මුණගැසෙන ස්ථානය මෙම ව්‍යසනය මගින් මනාව නිරාවරණය කර ඇත,” යනුවෙන් දකුණු ආසියානු ග්‍රීන්පීස් සංවිධානයේ ක්‍රියාකාරිනී ඇනීටා පෙරේරා පවසන්නීය. “ආර්ථිකමය අලාභයන් පමණක් අගය කරන ඕනෑම ප්‍රතිසාධන ආකෘතියක්, දේශගුණික විපර්යාස සඳහා අවම වගකීමක් දරන එහෙත් එහි බරපතලම සමාජීය හා පාරිසරික බර උසුලන ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට දිගින් දිගටම අසමත් වනු ඇත.”

ශ්‍රී ලංකාව ගෝලීය හරිතාගාර වායු විමෝචනය සඳහා දායක වන්නේ 0.1% කටත් වඩා අඩු ප්‍රමාණයකිනි. එසේ වුවද, දේශගුණික බිඳවැටීමේ වඩාත් දරුණු ප්‍රතිවිපාකවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටී. මෙම වාර්තාව මගින් දිට්වා සුළි කුණාටුව ගෝලීය අසාධාරණත්වයේ රටාවකට සම්බන්ධ කර පෙන්වා දෙයි. එහිදී කාර්මික රටවල් සහ ෆොසිල ඉන්ධන සමාගම් විසින් සිදු කරන ලද ඓතිහාසික විමෝචනයන් නිසා ඇති වූ ව්‍යසනයන්හි වගකීම, මෙම අර්බුදයට අවම වශයෙන් වගකිව යුතු රටවල් මත පැටවී ඇත.

දකුණු ආසියානු ග්‍රීන්පීස් සංවිධානය ‘පරිසරය ​​දූෂකයා වන්දි ගෙවිය යුතුය’ (Polluter Pays Principle) යන මූලධර්මය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි. එමගින් ප්‍රධාන කාබන් විමෝචක රටවල් සහ ෆොසිල ඉන්ධන සමාගම් විසින් දේශගුණික විපර්යාස නිසා සිදු වූ හානි හා අලාභයන් සඳහා වන මූල්‍ය දායකත්වය පරිත්‍යාගයක් ලෙස නොව, වන්දියක් ලෙස ලබා දීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව අනාගතයේදී තවදුරටත් උග්‍ර විය හැකි අන්තගාමී කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන බැවින්, දිට්වා සුළි කුණාටුව යනු දේශගුණික යුක්තිය ඉල්ලා සිටින අනතුරු ඇඟවීමක් සහ බලකිරීමකි.

​​දූෂකයා වන්දි ගෙවිය යුතුය’ යන මූලධර්මය (Polluter Pays Principle) ක්‍රියාත්මක කරන ලෙස ග්‍රීන්පීස් දකුණු ආසියාව (Greenpeace South Asia) විසින් ඉල්ලා සිටී. ඒ අනුව, වැඩිපුරම කාබන් විමෝචනය කරන රටවල් සහ පොසිල ඉන්ධන සමාගම් විසින් දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානි සහ අලාභ සඳහා (Loss and Damage) වෙන් කරනු ලබන මුදල්, පුණ්‍යාධාරයක් ලෙස නොව, වන්දි මුදලක් ලෙස ලබා දිය යුතු වේ. ශ්‍රී ලංකාව ඉදිරියේදී තීව්‍ර වන ආපදා සහිත කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන මොහොතක, ඩිත්වා සුළි සුළඟ (Cyclone Ditwah) දේශගුණික යුක්තිය උදෙසා කරන බලවත් අනතුරු ඇඟවීමක් සහ ඉල්ලීමක් ලෙස පවතී.

මාධ්‍ය සම්බන්ධීකරණය:

මෙලනි ගුණතිලක 

උපදේශක, දකුණු ආසියානු ග්‍රීන්පීස් සංවිධානය

[email protected] | 0773444257

අනීතා පෙරේරා 

ක්‍රියාකාරිනී, දකුණු ආසියානු ග්‍රීන්පීස් සංවිධානය

[email protected] |  0773925597මාධ්‍ය සඳහා ලබාගත හැකිය: සම්පූර්ණ වාර්තාව (PDF); උසස් තත්ත්වයේ ඡායාරූප (ඉල්ලීම මත); ප්‍රජා සාක්ෂි සහ ප්‍රකාශ