වෙරළබඩ පාලනය තුළ නිතර සිදුවන “සම්මුති පරතරය” පිළිබඳව ග්‍රීන්පීස් දකුණු ආසියා සංවිධානයේ අලුත්ම කරුණු වාර්තාව මඟින් පෙන්වා දෙන අතර, නිදහස්, පූර්ව සහ දැනුවත් එකඟතාවය ලබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

කොළඹ, 2026 සැප්තැම්බර් 28 — ශ්‍රී ලංකාව පුරා වෙරළබඩ සහ ආදිවාසී ප්‍රජාවන් සමඟ පවත්වන ලද පුළුල් කණ්ඩායම් සාකච්ඡා (Focus Group Discussions) මාලාවකින් පසුව, ග්‍රීන්පීස් දකුණු ආසියා (Greenpeace South Asia) සංවිධානය විසින් ප්‍රජා එකඟතාවය ලබා ගැනීමේදී නැවත නැවතත් සිදුවන පරතරයක් හඳුනාගෙන ඇත. එහිදී සෘජුවම බලපෑමට ලක්වන ප්‍රජා සාමාජිකයන් සමඟ තොරතුරු හුවමාරු කර නොගෙන බලධාරීන් විසින් ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන බව පෙන්වා දෙයි.

“විමසීමේ සිට එකඟතාවය දක්වා: ශ්‍රී ලංකාවේ සාගර සහ වෙරළබඩ පාලනය තුළ ප්‍රජා හඬ” (“From Consultation to Consent: Community Voices in Sri Lanka’s Marine and Coastal Governance”) යන ලේඛනය මඟින් මීගමුව, රේකව, වාකරේ, කල්පිටිය සහ විඩතල්තිවු යන ප්‍රදේශවල ප්‍රජාවන්ගේ අත්දැකීම් මෙන්ම උතුරු මන්නාරම පුරා ධීවර ප්‍රජාවේ ප්‍රතිචාර දැක්වූවන් 186 දෙනෙකු ඇසුරින් කරන ලද සමීක්ෂණයක්ද ලේඛනගත කර ඇත. මෙම කරුණු වාර්තාව එළිදැක්වීම ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී, බලධාරීන්, පාර්ශ්වකරුවන්, සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

වෙරළබඩ සහ ආදිවාසී ප්‍රජාවන්ගේ ජීවිතයට සහ ජීවනෝපායට සෘජුවම බලපාන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට ඇති තීරණාත්මක මැදිහත්වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බව මෙම වාර්තාව මඟින් හඳුනාගෙන ඇත. “තීරණ පූර්ණ වශයෙන් ගත් පසුව බොහෝ විට ප්‍රජා සාමාජිකයන් සමඟ තොරතුරු බෙදා ගනු ලැබේ; තාක්ෂණික සැලසුම්කරණයේදී ප්‍රදේශයේ පාරිසරික දැනුම අඛණ්ඩව ඇතුළත් නොකෙරේ; භාෂාමය සහ පරිපාලනමය බාධා මඟින් සහභාගීත්වය සීමා කෙරේ; තමන්ගේ ඉඩම්, ජල මූලාශ්‍ර සහ ජීවනෝපායන්ට බලපාන තීරණ ප්‍රශ්න කිරීමට ප්‍රජාවන්ට ඇත්තේ සීමිත හැකියාවකි,” යනුවෙන් වාර්තාවේ විධායක සංක්‍ෂිප්තයේ අවධාරණය කෙරේ.

“බොහෝ කලක සිට වෙරළබඩ ප්‍රජාවන්ට සහභාගී වන ලෙස ඉල්ලා සිටින්නේ තීරණ දැනටමත් සකස් කර අවසන් වූ පසුවය. උපදේශනය හෝ විමසීම යනු ව්‍යාපෘතියක් ගැන ජනතාව දැනුවත් කිරීම පමණක් විය නොහැක. මෙම පරිසර පද්ධති සමඟ ජීවත් වන සහ ඒවා මත යැපෙන ප්‍රජාවන්ට තමන්ගේ ඉඩම්, ජලය සහ ජීවනෝපායන්ට සිදුවන්නේ කුමක්ද යන්න තීරණය කිරීමේදී අර්ථවත් කාර්යභාරයක් තිබිය යුතුය. විමසීමේ සිට එකඟතාවය දක්වාත්, ඉහළින් පහළට සිදු කෙරෙන සංරක්ෂණයේ සිට පරම්පරා ගණනාවක් තිස්සේ මෙම පරිසර පද්ධති ආරක්ෂා කළ ප්‍රජාවන් සමඟ සැබෑ සහකරුවන් බවට පත්වීම දක්වාත් ගමන් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ. නිදහස්, පූර්ව සහ දැනුවත් සම්මුතිය පසුව සිතා බලන කරුණක් නොව, පාරිසරික සහ ජෛව විවිධත්ව පාලනයේ පදනම විය යුතුය.”

“අපට අවශ්‍ය වන්නේ විමසීමට වඩා සම්මුතිය කෙරෙහි අවධානය යොමු කරන අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයකි, එමෙන්ම ප්‍රතිපත්තිමය තීරණ ප්‍රජාවන් සමඟ එක්ව ගැනීමයි,” යනුවෙන් මානව හිමිකම් ආරක්ෂකයෙකු සහ ක්‍රියාකාරිනියක වන මෙලනි ගුණතිලක මහත්මිය අවධාරණය කළාය.

කුන්මිං-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව (Kunming-Montreal Global Biodiversity Framework) යටතේ ආදිවාසීන්ගේ සහ ප්‍රදේශයේ ප්‍රජාවන්ගේ සහභාගීත්වය සහ අයිතිවාසිකම් පිළිබඳ අරමුණ 22 (Target 22) ඇතුළුව ජෛව විවිධත්ව කැපවීම් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින පසුබිමක සහ 2026 ඔක්තෝබර් 19 සිට 30 දක්වා ආර්මේනියාවේ යෙරෙවාන් (Yerevan, Armenia) හි පැවැත්වීමට නියමිත ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ 17 වන පාර්ශ්වකරුවන්ගේ මහා සමුළුවට (CBD COP17) පෙර මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරේ.

මෙම කරුණු වාර්තාව මඟින් පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරයි:

  • නිදහස්, පූර්ව සහ දැනුවත් එකඟතාවය (FPIC) සහ අර්ථවත් සහභාගීත්වය සඳහා අයිතිවාසිකම් මත පදනම් වූ ජාතික ප්‍රමිතියක් ස්ථාපිත කිරීම;
  • පාරිසරික සහ ව්‍යාපෘති තොරතුරු සිංහල සහ දෙමළ භාෂාවලින් ලබා දීමට කටයුතු කිරීම;
  • තීරණ ගැනීමේදී පාරම්පරික සහ ප්‍රදේශයේ පාරිසරික දැනුම පිළිගැනීම;
  • සාගර සහ වෙරළබඩ ප්‍රදේශ සඳහා ප්‍රජා සහභාගීත්ව කළමනාකරණය අත්හදා බැලීම;
  • බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට පැමිණිලි වාර්තා කිරීමට සහ නීතිමය පිළියම් ලබා ගැනීමට පහසු ප්‍රවේශයන් සැලසීම;
  • ජෛව විවිධත්ව සහ දේශගුණික ප්‍රතිපත්තිවලට FPIC සහ ප්‍රජා අයිතිවාසිකම් ඇතුළත් කිරීම;
  • ප්‍රදේශයේ ප්‍රජාවන්ට ජෛව විවිධත්ව සහ දේශගුණික මූල්‍ය ප්‍රතිපාදන සඳහා සෘජු ප්‍රවේශය ඉහළ නැංවීම.

මෙම පියවරයන් මඟින් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලීන්හිදී සාධාරණ විමසීම්, සම්මුතීන් සහ සහභාගීත්ව යාන්ත්‍රණයන් අනුගමනය කර ඇති අනෙකුත් රටවල් අනුගමනය කරන හොඳම ප්‍රායෝගික ක්‍රමවේදයන් පිළිඹිබු කරයි.

ව්‍යාපෘති සහ සංරක්ෂණ පියවරයන් වෙනස් කළ නොහැකි මට්ටමට පත්වීමට පෙර, ආදිවාසීන් සහ ප්‍රදේශයේ ප්‍රජාවන් හුදෙක් පාර්ශ්වකරුවන් ලෙස පමණක් නොව, හිමිකම් දරන්නන් සහ ඔවුන්ගේ භූමියේ මූලික භාරකරුවන් ලෙස හඳුනා ගන්නා ලෙසත්, ඔවුන්ගේ දැනුම සහ සම්මුතිය මත තීරණ සකස් විය යුතු බවත් ග්‍රීන්පීස් දකුණු ආසියා සංවිධානය රජයෙන් සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය සම්බන්ධතා:
ශනුක කඩුපිටියගේ
Greenpeace South Asia, මාධ්‍ය නිලධාරී
[email protected] || +94 72 644 4770

අනිටා පෙරේරා
Greenpeace South Asia, ප්‍රචාරක ක්‍රියාකාරී
[email protected] || +94 773925597

මාධ්‍ය භාවිතය සඳහා ලබා ගත හැකිය:

  • කරුණු වාර්තාව සහ අමුණා ඇති ලේඛන, පහත සඳහන් දෑ ඇතුළත්ව:
  • සමීක්ෂණයට ලක් වූ පුද්ගලයන්ගේ සහ කණ්ඩායම් සාකච්ඡා (FGD) සහභාගීවන්නන්ගේ ප්‍රකාශ
  • ඡායාරූප
  • වෙරළබඩ ප්‍රදේශ සංරක්ෂණය හා කළමනාකරණයේදී ආදිවාසීන්ගේ සහ ප්‍රදේශයේ ප්‍රජාවන්ගේ නිදහස්, පූර්ව සහ දැනුවත් සම්මුති යාන්ත්‍රණයන් සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජය වෙත යොමු කළ ලිපිය
  • වෙරළබඩ ප්‍රජා අවධානය යොමු කළ කණ්ඩායම් සාකච්ඡා (FGD) ප්‍රශ්නාවලිය
  • වෙරළබඩ ප්‍රජාවන් සඳහා වූ පාරිභාෂික වචන මාලාව
  • ජාතික පාරිසරික පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ නිර්දේශ
  • නිදහස්, පූර්ව සහ දැනුවත් සම්මුතිය පිළිබඳ මත විමසුම් ලිපිය (Op-ed)